Saturday, November 5, 2016

පුරවැසියකු ලෙස...

මහා විප්ලවයක් බඳු යහපාලන ජනපති පත්වී මස කිහිපයක් යන්නට පෙර, මහා බැංකු බැඳුම්කර නිකුතුව සිදුවූ පසුදිනම වාගේ මහා වැරැද්දක් සිදුවී ඇති බව ප්‍රකාශ විය... එතැන් සිට වසර එකහමාරකටත් වඩා කාලයක් එය යට ගසන්නට නොකළා වූ දෙයක් නැති තරම්ය... පැන නැගුන අධික පීඩනය හමුවේ මහා බැංකුවට වෙනත් අධිපතිවරයකු පත් කළා විනා, අදටත් ඔහු අධිපති වන්නට ඉඩ තිබුණි... අවසානයේ COPE කමිටුව සහ විවිධ මැදිහත් වීම් නිසා අද තත්ත්වය කෙසේ හෝ ඇති විය...

ජනාධිපතිතුමා පසුගිය දිනක ප්‍රකාශ කළේ මේ සම්බන්ධ සියලු දේශපාලන මැදිහත් වීම් ඉවත් කළ යුතු බවත් අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලියක් කරා යොමු කරන බවත්ය.. ඉතා හොඳය... එහෙත් ජනාධිපතිතුමණි, සාමාන්‍ය පුරවැසියකුට පවා මුල සිටම යම් වැරැද්දක් සිදුවී ඇතැයි දැනුණු මෙම සිද්ධිය මෙතරම් පල් කරන්නට ඉඩ දුන්නේ ඇයි? ඔය අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලිය කරා මුලදීම යොමු නොකළේ පත්තරයකින්වත් මෙය නොදුටු නිසාද? ඔබට ඡන්දය දුන් නොදුන්, එහෙත් රටට ආදරය කරන හැමෝම ඔබ සහ අගමැති සංයෝගය රටට හොඳක් වේයැයි විශ්වාස කළහ. ඔබලා මේ විනාශ කරන්නේ රටේ අන්තිම අවස්ථාව විය හැක...

FCID, හා අදාළ ආයතන සිල් රෙදි, යකඩ බට, වාහනයක අවභාවිත ගැන පරීක්ෂණ කරන අතර තුල, දේශපාලන වශයෙන් අපක්ෂපාතී පිරිසගෙන් පැය ගණන් ප්‍රකාශ ගන්න අතර තුල, එම ආයතන විහිළුවකට පත් නොකර නිසි දේ කරන්න උපදෙස් දෙන්න... රාජපක්ෂලාගේ කියපු බිලියන, ට්‍රිලියන ගැන හොයන්න.. ආණ්ඩුවේ ඉන්න වැරදි කරන, හැම පක්ෂයේම වැරදි කරපු එවුන්ට නොදුටුව සේ නොසිට හරි දේ කරන්න... ලොකුවට කථාවට පමණක් සීමා නොකර රටේ පරිසරය වෙනුවෙන් තීරණ ගන්න... ඇමති කම සහ වරප්‍රසාද වෙනුවෙන් අනුන්ගේ කුණු සෝදන ඔබගේ පක්ෂයේ එවුන් ගැන බලන්න... රටේ ආර්ථිකය, සංහිඳියාව හරි පාරේ යනවාද කියා නිසි උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න...

නොඑසේ නම්... වසර දෙකකටත් වඩා අඩු කාලයකදී අද පවතින තත්ත්වයට අනුව, ඔබ රටේ අසාර්ථකම පාලකයෙක් වීමට ඉඩ ඇත... තවමත් අවස්ථාව ඇත... ඉතා සුළු කාලකන්ණි පිරිසක් හැරුණු විට, සමස්ථ ජනතාවගේ බලාපොරොත්තුව මෙය විය යුතුය...